අපේ රටේ නම් සෑම වසරකම දින දර්ශනයේ හත්වෙනි මාසයේ හත්වෙනිදා හෙවත් ජූලි 7 වෙනිදාට සුවිශේෂී යෙදුම් යෙදී තිබෙනවා. එම දිනය “ මළ කෙළියයි ජූලි හතයි “ ලෙස කියනවා පමණක් නොව සමස්ත ජූලි මාසයම “ මළ ජූලිය “ ක් ලෙසම හඳුන්වන්නට අප පසුබට වෙන්නේ නැහැ. කුමක් හෝ විපත්තිදායක සිදු වීමක් සිදුවූ වහාම මළ කෙළියක් ලෙස නම් කෙරෙයි. යමක් සිදු වන්නට ගොස් එය වැලැක්වී ගියත් “ මළ කෙළියක් වෙන්න ගියේ ලෙසින් හඳුන්වනවා පමණක් නොව “ තව ඩිංගෙන් ජූලි හතයි “ ලෙසින් පවසන්නටත් අප මැලි නොවේ. කෙසේ වෙතත් ජූලි මාසයත් , ජූලි 7 ත් මෙතරම් සුවිශේෂී වන්නේ කුමන කරුණු නිසාදැයි සොයා බලමු.
කුමක කාලයක මෙම යෙදුම් ආරම්භ වූවාදැයි සොයාගැනීමට අපහසු වුවත් , උසාවි ක්‍රමය ආරම්භයෙන් පසු මිනීමැරුමකට දඬුවම් නියම කිරීමේදී එම තීරණය ජූරි සභාවකින් තීරණය වීමත් , ජූරි සභාවකට සභිකයන් 7 දෙනෙකු ඇතුළත්ව තිබීමත් මෙම යෙදුම් වලට ආරම්භයක් සපයයි. ජූරියේ හත පසුව ජූරි හත වීමත් , ජූරි හත ජනවහරේදී ජූලි හත වීමත් සාධාරණ කර ගත හැක.
ජූරි හත - ජූලි හත වූවාට වඩා සුවිශේෂී සිදුවීම් ඉතිහාසයේ ජූලි මාසය පුරා සිදුවී තිබීම ද අපූර්ව කරුණකි. අපගේ ජාතික වීරයෙකු ලෙස සලකන එඩ්වඩ් හෙන්රි පේදිරිස් තරුණයා ඉංග්‍රීසීන් විසින් වෙඩි තබා ඝාතනය කෙරුණේ 1917 වසරේ ජූලි 7 වෙනිදාය. 1915 ඇතිවූ සිංහල - මුස්ලිම් කෝලාහලය අවස්ථාවේ එය සන්සුන් කිරීමට කටයුතු කළ එවකට ආරක්ෂක හමුදාවේ සිටි උගත්, නිර්භීත තරුණ සොල්දාදුවෙකු වූ හෙන්රි පේද්‍රිස් මරා දැමීමට ඉංග්‍රීසීන්ට අවශ්‍ය වූයේ ඒ නිර්භීත තරුණයා සිංහලයේ නිදහස් සටනේ නායකයන් සමග සම්බන්ධව සිටි නිසාය. කැරැල්ල සන්සුන් කිරීමට කටයුතු කළ හෙන්රි , මුස්ලිම් ධනවතුන් මරා දමා වස්තුව මංකොල්ල කෑවා යන චෝදනාව එල්ල කොට දින තුනකින් නඩුව අසා මරණීය දණ්ඩනය ජූලි 8 වන දින සිදු කිරීමට නියම කිරීමට පවා ඉංග්‍රීසීන් කටයුතු කර ඇත. ඉතා ධනවත් හෙන්රිගේ පියා තම පුතුගේ බරට රත්තරන් හෝ මුදල් දීමට එකඟ බවත්, පුතුගේ ජීවිතය බේරා දෙන ලෙසත් ඉල්ලා සිටියත් එයට සුදු පාලකයන් එකඟ නොවූයේ ඔවුනගේ අරමුණ මේ තරුණයාගේ විනාශය වීම නිසාය. නඩු තීන්දුවෙන් වියරු වැටුණු ජනතාව 8 වනදා එයට එරෙහිව කැරලි ගසනු ඇතැයි සැක සිතූ ආණ්ඩුව ජූලි 7 වනදා හෙන්රි පේද්‍රිස් වෙඩි තබා ඝාතනය කරන ලදී. පුටුවක වාඩු කරවූ හෙන්රිට වෙඩි තැබීමට පෙර දෑස ගැට ගැසීමට එරෙහි වූ හෙන්රි කළු පටිය ලිහා වෙඩි තබන්නා දෙස කෙලින් බලා සිටි බවද කියැවේ. ඒ වීරත්වය නිසාම “ ජූලි හතයි “ යනුවෙන් යෙදුම ඇරැඹි බවද කියැවේ.
ජූලියේ අතීත කතාවේ මළ ජූලියක්ම වූ
භයංකාරම මතකය අතර කළු ජූලිය ද අමතක කළ නොහැකිය. 1983 ජූලි මාසයේදී ශ්‍රී ලංකාවේ සිදු වූ අවාසනාවන්ත
ජාතිවාදී ගැටුම කළු ජූලිය ලෙසින් ඉතිහාසයට එකතු වී තිබේ. උතුරේ හමුදා රථ පෙළකට ත්‍රස්ථවාදීන්ගෙන්
එල්ල වූ ප්‍රහාරයකින් හමුදා භටයන් පිරිසක් මිය යාමත් ඔවුනගේ දේහයන් බොරැල්ල
කනත්තේදී භූමදානය කිරීමක් පසුබිම් වී ඇරඹි මෙහි නිවැරදිමයැයි දැක්වෙන සංඛ්‍යාලේඛණ නැති වුවත්
දහසකට වඩා පිරිසක් මිට ගිය බව කියැවිණ. නිවාස හා ව්‍යාපාරික ස්ථාන දහස් ගණනින්
ගිනිබත් වූ මේ වර්ගවාදී කෝලහයෙන් එක්ලක්ෂ පනස් දහසකට අධික පිරිසක් අවතැන් වූ බව
කියැවේ. ලෝකය කිසිදා මකා නොදැමිය හැකි කළු
පැල්ලමක් අප රටට එක්වූ මෙම සිදුවීම නිසා ජූලි මාසය කළු ජීලිය ලෙස හඳුන්වන්නට පටන් ගන්නා ලදී. සැබැවින්ම එය මළ ජූලියකි.
ජූලි යන මාස නාමය කියැවෙද්දී අමතක කළ නොහැකි තවත්
වැදගත් සිදුවීමත් තිබේ. එය 1980 ජූලි වැඩ වර්ජනය යි. රජයේ සහ පෞද්ගලික අංශවල සේවකයන් හතලිස් දහසකට
රැකියා අහිමි වීමෙන් තුන්ලක්ෂයකට වඩා දරුවන් , බිරින්දෑවරුන් අනාථ කළ මෙම ජූලි
වර්ජනයට හේතු වූයේ මාසිකව රුපියල් 300ක වැටුප් වර්ධකයක් ඉල්ලා සිටීමයි . එවකට පැවති රජය හා පාලකයන් විසින් අතිශය භයංකාර ලෙස මෙම වර්ජනය මර්දනය කරන ලද්දේ
වර්ජකයන් 40356 දෙනෙකු සේවය අතහැර ගියා සේ සලකා නව සේවකයන් බඳවා ගැනීමෙනි . ඇතැම්
වර්ජකයන් සිය දිවි නසාගත් අතර , තවත් පවුල්වල දරුවන් පවා මිය යන ලදී. කිසි දිනක යළි
ඔවුනගේ රැකියා නොලැබීමෙන් සමස්ත සමාජයම දැඩි කම්පාවකට පත් විය .
ජූලි හත අඳුරු මතක අතරට එක්වූ ජාත්‍යන්තර
සිදුවීම් සොයා බැලීමේ දී 2005 වසරේ ජූලි
07 සිදු වූ ලන්ඩන් බෝම්බ ප්‍රහාරය ඉතා වැදගත් තැනක් ගනී . ජාත්‍යන්තරයේ 7-7 ලෙස හඳුන්වන එම ප්‍රහාරය ලන්ඩන් නුවරදී
ඉස්ලාමීය ත්‍රස්වාදීන් සිව් දෙනෙකු විසින් සිදුකළ අතර , ඉන් ජීවිත 52 ක් අහිමි වී 700
කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. ලන්ඩනයේ දුම්රිය 3 ක හා බස් රථයක සිදු කළ මෙම මරාගෙන
මැරෙන බෝම්බ ප්‍රහාරය බටහිර ලෝකය කම්පා කරවන්නක් විය. එමෙන්ම 2012 දී රුසියාවේ ගංවතුරකින් 172 දෙනෙක්
මිය යාමක් හා 1980 වසරේ දී ලෙබනන් සිවිල් යුද්ධයේ දී
සටන්කාමීන් 83 ක් මරා දැමීමක් ද ජූලි 7 වන දිනයන්හිදී ම සිදුවීම අපූර්ව සම්බන්ධයක්
පෙන්වයි .
කෙසේ වෙතත් ජූලි මාසය මළ ජූලියක් කර
නොගෙන ප්‍රෙව්ශමෙන් කටයුතු කිරීම සැමගේ වගකීමකි.
No comments:
Post a Comment